1971 කැරැල්ල හෙවත් තරුණ පිබිදීමට සමගාමීව ශ්රී ලාංකේය සිනමාවේද එබඳුම විප්ලවීය වෙනස්කම් රැසක් සිදු විය. 1974 ජනවාරි 24දා තිරගත වු අහස් ගව්ව චිත්රපටය ඊට අඩිතාලම සපයයි. එවකට රැකියා විරහිත තරුණ පරම්පරාව තුළ කැකෑරෙමින් පැවතියා වු
ජීවන අරගලයේ වේදනාව සිනමාවට නැගීමට ගත් පළමු උත්සහය ලෙස මෙම චිත්රපටය හැදින්විය හැකිය.

එම විප්ලවය දියත් කල මුල් පුරුකක් වු ධර්මසේන පතිරාජයන් සිනමාවට පිවිසෙන්නේද අහස් ගවුව චිත් රපටය හරහාය. මින් පසු හන්තානේ කතාව(1969), එයා දැන් ලොකු ළමයෙක් (1977) පොන්මනී, දෙමළ චිත්රපටය (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං (2016) වැනි චිත්රපට රැසකට මොහු අධයක්ෂණයෙන් දායක වේ.

සිනමාවේ පමණක් නොව ගීත රචනයෙහිද ඔහු සතු ප්රතිභාව අපුර්වය. ඔහු විසින් ධර්මසිරි බණ්ඩාරනායක තරුණ සිනමාවේදියාගේ හංස විලක් චිත්රපටය සඳහා රචනාකරන ලද හෙමින් සැරේ පියා විදා ගේය පද රචනය මෙරට චිත්රපට ගී අතර විශිෂ්ටතම ගී කිහිපය අතරට එක්ව ඇති බව අවිවාදිතය. නුගේගොඩ ජුබිලි කණුව අවන්හලක මධුවිතක් තොලගාමින් සිටි සැදෑ යාමයක ධර්මසේන පතිරාජයන් අතින් මෙම ගීය රචනා වී ඇත.

මෙම මියුරු ගීයෙහි නින්නාද දෙන ගැඹුරු, භාවපූර්ණ, ස්ත්රී හඩෙහි හිමිකාරිය වන්නේ සුනිලා අබේසේකරය. ඇය සිනමාවට පිවිසෙන්නේ 1978 ධර්මසේන පතිරාජයන් අධ්යක්ෂණය කළ ‘බඹරු ඇවිත්’ චිත්රපටයේ “හදුනා ගත්තොත් ඔබ මා…….” ගීතයෙනි.

ආචාර්ය ප්රේමසිරි කේමදාසගේ අපූර්ව සංගීත නිර්මාණයෙහිත් සුනිලා අබේසේකර නම් වූ ගායිකාවගේ අතුල්ය හඩෙහිත් සංකලනයක් වු මේ ගීතය රසික චිත්ත සංතානයේ මවා ලන්නේ කාමුකත්වය හමුවේ වල්මත් වු අසම්මත ප්රේමයක හා දෙදරා ගිය කුටුම්භයක සංකල්ප රුපාවලියකි.

එදාමෙදා තුර බිහි වු නේකවිධ චිත්රපට අතර මිනිසාගේ අවිඥානයේ සැගව ගත් කාමුකත්වය වඩාත් සැකෙවින් පැහැදිලි කර ගැනීමට හැකි විශිෂ්ටතම සිනමා කෘතිය වන්නේ හංස විලක් චිත්රපටය යි. මෙහි ප්රධාන චරිත නිරුපණය කරන්නේ නිශ්ශංක වීරසිංහ නම් විවාහක දෙදරු පියා සහ මිරැන්ඩා රණවීර නම් ගැහැනිය යන චරිත ද්විත්වයයි. ධර්මසිරි බණ්ඩාරනායක නිශ්ශංක වීරසිංහ ලෙසද, ස්වර්ණා මල්ලවාරච්චි මිරැන්ඩා රණවීර ලෙසද ප්රධාන චරිත නිරුපණය කරයි. හෙන්රි ජයසේන ඩග්ලස් ( මිරැන්ඩාගේ ස්වාමි පුරුෂයා) ලෙසද, වසන්ති චතුරාණි නිශ්ශංකගේ බිරිඳ ලෙසද මීට රංගනයෙන දායක වේ. නිශ්ශංක සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙක් වන අතර මිරැන්ඩා සහ ඩග්ලස් යුවලට එක් දරුවෙක් වේ.

හංස විලක් චිත්රපටයේ තේමා ගීය
ලෙස සලකන්නේ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ “හෙමින් සරේ පියා විදා” ගීතයයි. මේ ගීතයට සංගීතය සපයන පේමසිරි කේමදාසයන් සිය සංගීතමය පරිකල්පනය සහ විඥාණය මෙහෙයවමින් චිත්රපට අධ්යක්ෂවරයාට කියා ගත නො හැකි වූ තැනත්, කැමරාකරුවාට ප්රකාශ කිරිමට නො හැකි වූ තැනත් මැනැවින් හඳුනා ගෙන ඒ සියළු අසම්මත බැමි චිත්රපට සංගීතයෙන් සහ තේමා ගී ගායනයෙන් පුපුරවා හරී.

මෙහි එම ගීතය වාදනය වන්නේ නිශ්ශංක සහ මිරැන්ඩා හෝටල් කාමරයක අනියම් පෙම් සුව විදිමින් සිටින අතර වාරයේ පොලීසිය එතැනට කඩා පනිනා අවස්තාවේදීය.

නිශ්ශංක සහ මිරැන්ඩාගේ අනියම් ප්රේමය නීතියට අසු වූ විට දැනෙන බිය, ලැජ්ජාව හැගීම් වඩාත් තීව්ර කරන්නට මෙම ගීතයේ සංගීතය හා ගීතයේ වචන නොමැති හිස් තැන් වල යෙදෙන ආලප් වලින් මනා පිටුවහලක් ලැබී ඇත. පොදු සමාජ සම්මතයෙන් බැහැරව හට ගන්නා නිශ්ශංක මිරැන්ඩා පෙම් පුවත හේතුවෙන් එකී ප්රධාන චරිත ද්විත්වයේ කුටුම්භ තුළ ජ්නිත කරන්නා වූ පවුල් අරගලය දෝලනය කිරිමටත් පොලිසියට හසු වු විට නිශ්ශංක සහ මිරැන්ඩා මුහුණ දෙන මානසික පීඩනය ප්රතිනිර්මාණය කිරීමටත් මේ ගීතය සමත් විය.

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පළා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්….

අසම්මතයේ වුවද අනුරාගය ජනිත වන්නේ ඔවුනොවුන් අතර ඇති ප්රේමය තුළිනි. සයනයේදී ඔවුන් ලබන සුවය කාමයට වඩා ආදරය මුල් කරගත්තක් බව මෙයින් පැවසේ. ඔවුන්ගේ සයනයට අනුරාගය පැමිණෙන්නේ හෙමින් සැරේ පියාපත් විදාගනය. එය අනෙකා පීඩනය කරන්නාවු හෝරාවක් නොව ඔවුන්ගේ සිත් සතන්හි තිබු අනුරාගයේ පවස සංසිදුවාලන නිමේෂයකි. ඔවුන්ගේ අනුරාගය එතරම් සොදුරු කරන්නේ අනුරාගයට සිනිදු සයනයක් වන සුමුදු ඇතිරිල්ලක් වන ආදරයයි.

මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින…

මෙම ගී පද පේලි කිහිපය තනිව ගත් කළ එහි ඒ තරම් පැහැදිළි ව්යක්ත අරුතක් ඒ තුළින් ජනිත නොවේ. එසේ වුවද ගීතයේ රූප රාමු සහ එයින් ගම්ය වන ව්යංගාර්ථය තුළ බමරෙක් මලක රොන්සුණු උරාගන්නා සේ ස්ත්රී ශරීරය පිරිමි ඇසකට රසඳුනක් වන අයුරු ව්යංගයෙන් කියයි . මලකට මලක් වීමට අයිතියක් ඇති බවත් විලකට විලක් වීමට අයිතියක් ඇති බවත් පවසන ගී රචකයා ගැහැණියකට ගැහැණියක් වීමට අයිතියක් ඇති බව පවසන්නේ ව්යංගයෙනි. සමාජය කෙසේ නිර්වචනය කළද ගැහැණියද ලේ ඇට මස් නහර වලින් සැදුම් ලත් ප් රාණියෙකි. කන්නට අදින්නට ලැබු පමණින් ගැහැණියක් ගැහැණියක් වන්නේ නැත. ගැහැණිය ගැහැණියක් වශයෙන් සම්පුර්ණ වන්නේ නැත. විවාහය තුළ ඇය දරුවන් වදන උපකරණයක් නොවේ. ඇයට ආදරය කරුණාව අවශ්ය ය. තම වෛවාහික ස්වාමි පුර්ෂයාගෙන් නොලැබෙන ආදරය මිරැන්ඩා අත්විදින්නේ නිශ්ශංක වීරසිංහ නම් දෙදරු පියාගෙනි. මලකට මලක් වන්නටත් විලකට විලක් වන්නටත් ආයාචනා කරමින් ගී රචකයා පෙන්වා දෙන්නේ ඔවුන් තම ඇසුර සාදාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයයි. සිනමාවේදී මෙන්ම ගීතයේ දීත් ව්යංගාර්ථය අවශ්ය වන්නේ මෙවන් මොහොතක දීය.

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි                   මුදා හැරදා පවුරු සිරි යහනේ….

නිම්නයක් යනු කඳු දෙකක් අතර වූ තැනිතලාවකි. එවැනි තැනිතලාවක සුපුෂ්පිත වන ඇය මලකි. නැවුම් වත්සුණු රොනින් මත්වූ බමරා ඒ මල සිය ග්රහණයට නතු කරගන්නේත් ප්රේමයත් රාගයත් අතර වල්මත් වීම සිදුවන්නේත් මේ සිහින නිම්නයේ දීම ය. මෙහි සිහින නිම්නයක් වන්නේ ඔවුන් ගත කරන මේ අනුරාගී හෝරාවයි. ඔවුන් දෙදෙනාගේම ජීවිත වල එකිනෙකා පරයා කදු මෙන් නැගී සිටින දුක්ඛ දෝමනස්ස හමුවේ ඔවුන්ගේ එක් වීම සිහින නිම්නයකි.

ගීතයේ ආත්මය සහ එහි භාවාත්මය රැඳී ඇත්තේ “සිහින් හඬකින් මහද අමතයි…
මුදා හැරදා පවුරු සිරි යහනේ….”යන පද පේලි දෙක තුළය. සියළු බැමි පුපරවා හටගන්නා අසම්මත ප්රේමය ඉන් ව්යාංගාර්ථවත් වෙයි.

සම්මාන උලෙලකදී ස්වර්ණා මල්ලවආරච්චි පවසන ප්රකාශයක් අනුව ඇගේ ජීවිතේ ලැබුණ හොඳම සම්මාන තුන ලැබුණේ ධර්මසිරිගෙන් කියලා (මුලම සම්මානය හංස විලක් දෙවනුව බව දුක හා බව කර්ම).

 

ඔබේ අදහස මෙතන ලියන්න..