ෆවුන්ඩේෂන් එකක් යෙදීමෙන් අනතුරුව කම්ෆැක්ට් පවුඩර් භාවිත කිරීමට සූදානම් විය යුතුයි. මෙහිදි ෆිනිෂින් පවුඩර් හෝ කම්ෆැක්ට් පවුඩර් භාවිත කළ හැකියි. කම්ෆැක්ට් පවුඩර් ෆිනිිෂින් පවුඩර්, ලූස් පවුඩර් භාවිතයේදී විශේෂයෙන්ම සමේ වර්ණයට වඩාත් ගැළපෙන ලස්සන පෙනුමක් ගෙන දෙන පවුඩර් එක තෝරාගැන්ම ඉතාම වැදගත්.”

මේක්අප් කිරීම සාමාන්ය දෙයක් ලෙස සිතා කළහැකි දෙයක් නොවෙයි. හේතුව ඒ හා සම්බන්ධව ඔබ දැනුවත් විය යුතු වැදගත් කරුණු කාරණා බොහෝමයක් තිබෙන නිසයි.

මේක්අප් කරනවිට ඔබ තෝරාගතයුතු මේක්අප් ආලේපන, තෝරාගත යුතු වර්ණ, ෆවුන්ඩේෂන් වර්ග, අයිෂැඩෝ, අයිලයිනර්, බ්ලෂර්, තොල් ආලේපන මෙන්ම අවස්ථානුකූලව මේක්අප් යෙදීම, ලස්සන පෙනුමක් ඉස්මතුවන පරිදි මේක්අප් කිරීම ආදී වශයෙන් දැනගතයුතු දේ බොහොමයි.

මේක්අප් අපට වැදගත් වන්නේ ඇයි?
රුවට, පෙනුමට, අවස්ථාවට හරියටම හරියන විදිහට ගැළපෙන්න මේක්අප් එකක් කළොත් බලන්න එයින් කෙනකුට කොයිතරම් ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙනවාද කියා. ක්රමානුකූලව සිදුකරන මේක්අප් එකකින් මනාලියකට මොනතරම් සුන්දරත්වයක් මතුකරගත හැකිද? අන්න එමනිසා තමයි මේක්අප් කියන දේ අපට රූපලාවණ්ය ක්ෂේත්රයේදී වඩාත්ම සුවිශේෂි දෙයක් හැටියට සඳහන් කළ හැකි වන්නෙ.

නමුත් මේ පිළිබඳව ශිල්පිය දැනුමක් නොමැති වුවහොත් කෙනකුගේ පෙනුමට කෘත්රිම බවක් ගෙන දෙන්නට එය හේතු වන්නට පුළුවන්. මෙහිදී ඒ බවත් අමතක කරන්නට එපා. එම නිසා මේක්අප් භාවිතයෙන් කෙනකුගේ රූපයේ කැපීපෙනෙන බවක් ඉස්මතු කරලන්නට තරම් නිර්මාණශිලී හැකියාවක් දැනුමක් අප තුළ තිබිය යුතුයි.

බොහෝවිට මේ පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා තමන්ට නොගැළපෙන මේක්අප් වර්ණයන්, ෆවුන්ඩේෂන් පවුඩර්, අයි ෂැඩෝ, තොල් ආලේපන බ්ලෙෂර් භාවිතයෙන් අවලස්සන පෙනුමක්, කෘත්රිම ස්වභාවයක් ගෙනදී ඇති අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. මේක්අප් ආලේපන නිවැරැදිව භාවිත කරන්නට, ගැළපෙන ආකාරයෙන් මේක්අප් තෝරාගන්නට දැනුවත් වීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි. එසේනම් මේක්අප් ගැන නිවැරැදි දැනුවත් බවක් අවබෝධයක් ලබාගන්නට මෙතැන් සිට සූදානම්වන්න.

මේක්අප් එකක් කරගැනීමට ප්රථම සම පිරිසිදු කරගත යූතුයි. ඒ සඳහා ඔබේ සමට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් භාවිත කර ගන්න පූළුවනි. පිරිසිදු කරගත් මූහූණේ රෝම කූප විවෘත වී තිබෙන නිසා එය වැසීම සඳහා පූළුන් කැබැල්ලකට ටෝනර් ස්වල්පයක් ගෙන මූහූණේ ගල්වන්න.

ෆවුන්ඩේෂන් තෝරා ගත යුත්තේ කෙසේද?

මේක්අප් එකකදී අප මුලින්ම කළ යුත්තේ ෆවුන්ඩේෂන් එක සමට ගැළපෙන ආකාරයෙන් නිවැරැදිව තෝරා ගැනීමයි. මෙහිදී අප බේස්එක වශයෙන් සඳහන් කරන්නේ ෆවුන්ඩේෂන් භාවිතයයි. මේක්අප් එක කොපමණ වෙලාවක් රඳා පවත්වාගත යුතුද යන්න තීරණය කළ හැකි වන්නේ අප යොදා ගන්නා ෆවුන්ඩේෂන් එක අනුවයි.
ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීමේදී සහ භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ මේක්අප් එකකදී යොදා ගන්නා ෆවුන්ඩේෂන් වර්ග මොනවාද යන්න අපි දැන් විමසා බලමු.

ෆවුන්ඩේෂන් වර්ග

මේක්අප් සඳහා භාවිත කරනු ලබන ෆවුන්ඩේෂන් වර්ග කීපයක්ම තිබෙනවා. දැන් නවීන තාක්ෂණයත් සමඟ මේක්අප් කිරීමේදී යොදාගත හැකි ෆවුන්ඩේෂන් වර්ග කීපයක්ම තිබෙන නිසා අවශ්ය ආකාරයෙන් එය අපට තෝරාගත හැකියි. මෙහිදී අප බොහෝ විට භාවිත කරනු ලබන්නේ ස්ටික් ෆවුන්ඩේෂන් එකයි. එමෙන්ම කේක් ෆවුන්ඩේෂන් වර්ග, ලික්විඩ් ෆවුන්ඩේෂන් එනම්, දියරමය වශයෙන් ඇති ෆවුන්ඩේෂන් භාවිත කළ හැකි අවස්ථා තිබෙනවා. ඊට අමතරව භාවිත කළ හැකි ෆවුන්ඩේෂන් වශයෙන් කන්සීලර්, කවර් මාක්ස් සඳහන් කළ හැකියි.

ස්ටික් ෆවුන්ඩේෂන්

මේක්අප් එකක බේස් එක වශයෙන් අපට මුලින්ම ස්ටික් ෆවුන්ඩේෂන් යොදාග හැකියි. මෙහිදි ඕනෑම යුවතියකගේ සම මත සමාන්තරව පැතිරී තිබෙන ආකාරයෙන් බේස් එක යෙදිය යුතුයි. සමහරවිට කෙනකුගේ ඇස්යට අඳුරු ස්වභාවයක් එසේත් නැත්නම් රැලි ස්වභාවයක් තිබෙන්නට පුළුවන්. එවන් විටෙකදී අප මුලින්ම කළයුත්තේ ස්ටික් එක යම් ප්රමාණයකට ස්ටික් එක ස්පොන්ජ් එකකට ගෙන වර්ණය සමාන්තරව සමේ පැතිරි යන ආකාරයට තැවරීමයි. මෙහිදී ඔබ කල්පනාකාරි විය යුතු දෙයක් නම් ස්ටික් ෆවුන්ඩේෂන් භාවිතයේදී තමන්ගේ සමේ වර්ණයට වඩාත් ළඟින් යන වර්ණයක් භාවිත කිරීමයි. අවශ්ය නම් ස්ටික් වර්ග කීපයක් එකතුකර ගනිමින් සමට අවශ්ය වර්ණය සකසා ගැනීමට වුවද මෙහිදී හැකියාව තිබෙයි.

මෙහිදී වැඩි දෙනෙක් කරන දෙයක් නම් ස්ටික් ෆවුන්ඩේෂන් වැඩි ප්රමාණයක් ගෙන භාවිත කිරීමයි. එසේ කිරීම තුළින් මේක්අප් එක මුහුණේ රඳාපවත්නා ප්රමාණය අඩුවන අතර මේක්අප් එක මතුපිටින් ඉරිතැළුණු ස්වභාවයක් ඇතිවිය හැකියි. එමෙන්ම මෙහිදී වැඩි දෙනකුට මතුවන ගැටලුවක් නම් මේක්අප් එකෙන් පසුව මුහුණේ තෙල් සහිත ස්වභාවයක් ඇතිවීමයි. එයටද ප්රධාන හේතුවක් වන්නේ ස්ටික් භාවිතය වැඩි වීමයි. ස්ටික් එකක් භාවිත කිරීමේදී වුවද එය භාවිත කළ යුතු නියමිත ක්රමයක් තිබෙනවා. ඒ අනුව ස්ටික් එක නිවැරැදිව යොදා ගැනීමෙන් ඉතාමත් ලස්සන මේක්අප් එකක් කළහැකියි. වියළි සමක් තිබෙනවානම් එවන් සමකට වඩාත් ගැළපෙන්නේ ස්ටික් ෆවුන්ඩේෂන් එකයි. ස්ටික් එකෙන් තරමක් තෙල් සහිත ස්වභාවයක් මතුවන නිසා තෙල් සහිත සමකට මෙය එතරම් යෝග්ය වන්නේ නෑ. මෙය වඩාත් සුදුසුවන්නේ වියළි සමක් ඇති අයටයි.

කේක් ෆවුන්ඩේෂන්

ස්ටික් ෆවුන්ඩේෂන් එකක් භාවිත කිරීමෙන් පසුව එයට මතුපිටින් තෙත ස්පොන්ජ් එකක හෝ බ්රෂ් එකක ආධාරයෙන් මුහුණේ ගල්වන්නට පුළුවන්. මෙමගින් අප තවරන වර්ණය එක සමාන්තරව මුළු මුහුණේම පැතිරි යන ආකාරයට භාවිත කළ හැකියි. මෙහිදීද සමේ වර්ණයට අනුව ගැළපෙන වර්ණයක් යොදා ගන්නට පුළුවන්. තරමක් වියළි ස්වභාවයක් ගන්නා සමකට වැඩි වශයෙන් පෑන් කේක් යොදාගැනීම සුදුසු වන්නේ නෑ. හේතුව එහිදී මේක්අප් එක මතුපිටින් වියළි ස්වභාවයක් සහ ඉරිතැළුුණු ස්වභාවයක් ඇතිවිය හැකි නිසයි. එවන් අවස්ථාවක ස්ටික් වැඩි ප්රමාණයක් යොදාගෙන ඉන් අනතුරුව පෑන්කේක් යොදාගැනීමට හැකියාව තිබෙනවා.

මෙම පෑන් කේක් ෆවුන්ඩේෂන් එක ස්පොන්ජ් එකක ආධාරයෙන් හෝ බ්රෂ් එකක ආධාරයෙන් ගල්වනවා නම් එය කළයුත්තේ සම මත තබා පන්ච් කරන ආකාරයටය. එසේ නොමැතිව මුහුණේ ඇතිල්ලීමක් කරන අයුරින් ගැල්වීමට යාමෙන් වඩාත් මෘදු බවින් යුත් මේක්අප් එකක් දක්නට ලැබෙන්නේ නෑ. මෙහිදී මේක්අප් එකෙහි පිපුණු ස්වභාවයක් ඇතිවිය හැකියි. මෙය ගැල්වීමේදී ස්පොන්ජ් එක තෙත්කර එය මුහුණ මත තබා සෙමෙන් තද කරන (පන්ච්) ආකාරයට සිදු කිරීමෙන් හෝ බ්රෂ් එකක ආධාරයෙන් බ්ලෙන්ඩ් වන ආකාරයට සිදු කිරීමෙන් එහි ක්රමවත් බවක් දැකිය හැකියි.

ලික්විඩ් ෆවුන්ඩේෂන්

බොහේවිට ශීත රටවල කාන්තාවන් භාවිත කරනු ලබන්නේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එකයි. ලංකාව වැනි අධික උණුසුම් දේශගුණයක් ඇති රටකට ලික්විඩ් ෆවුන්ඩේෂන් ගැළපේද යන්න සිතිය නොහැකියි. හේතුව ලික්විඩ් ෆවුන්ඩේෂන් යොදා කරනු ලබන මේක්අප් එකක් වැඩිවෙලාවක් රඳා පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමයි.

සමේ වර්ණය අනුව අපට අවශ්ය වර්ණය මෙහිදී තෝරාගත හැකියි. නැත්නම් වර්ණ එකක් හෝ දෙකක් මිශ්රකර එය කුඩා තිත් ආකාරයට මුහුණේ තවරා ස්පොන්ජ් එකකින් හෝ තමන්ගේ වෙදැගිල්ල භාවිතකර මෙම බේස් එක සකසාගත හැකියි. බොහෝවිට ලික්විඩ් ෆවුන්ඩේෂන් මනාලියන්ට වඩා ගැළපෙන්නේ සාමාන්ය අවස්ථාවන් සඳහා මේක්අප් භාවිත කරන අයටයි. එනම් රූපලාවණ්යාගාරයකට නොගොස් තමන් විසින්ම සිදුකරගන්නා මේක්අප් එකක් සඳහා ලික්විඩ් ෆවුන්ඩේෂන් භාවිත කළ හැකියි.

කවර් මාර්ක් සහ කන්සීලර්

සමේ තැන්තැන්වල අඳුරු ස්වභාවයක් හෝ ලප කැළැල් ආදිය වෙත්නම් එවන් ස්ථාන කවර්මාර්ක් හෝ කන්සීල භාවිතයෙන් මඟහරවා ගත හැකි අතර ඉන්පසුව බේස් එක තවරා මේක්අප් එක ක්රමානුකූලව කරගතහැකියි.

එසේ නොමැති නම් අපට කන්සීලර් එකක් මඟින් සහ කවර් මාර්ක් එකක් මඟින් සම්පූර්ණයෙන් මේක්අප් එකක් කිරීමට වුවද පුළුවන්. ඇතැම් විට මෙය බේස් එකක් වශයෙන්ද භාවිත කළ හැකි අවස්ථා තිබෙනවා. කුරුළෑ ඉතාමත් අධික මුහුණකට එමෙන්ම කුරුළෑ නිසා කැළැල් ඇති වී තිබෙන මුහුණකට මේක්අප් කිරීමේදී එය ආවරණය කෙරෙන අයුරින් කවර් මාර්ක් සහ කන්සීල භාවිතකර ලස්සන නිමාවකින් යුත් මේක්අප් එකක් කිරීමට හැකියාව තිබෙනවා.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ තමන්ගේ සමට ගැළපෙන වර්ණය සහ වඩාත් සුදුසු බේස්එක කුමක්ද යන්න ගැන අවබෝධයකින් සහ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමයි.
ඔබ දැන් ෆවුන්ඩේෂන් භාවිතය ගැන දැනුවත්.

කම්ෆැක්ට් පවුඩර්

ෆවුන්ඩේෂන් එකක් යෙදීමෙන් අනතුරුව කම්ෆැක්ට් පවුඩර් භාවිත කිරීමට සූදානම් විය යුතුයි. මෙහිදි ෆිනිෂින් පවුඩර් හෝ කම්ෆැක්ට් පවුඩර් භාවිත කළ හැකියි.

කම්ෆැක්ට් පවුඩර් ෆිනිිෂින් පවුඩර්, ලූස් පවුඩර් භාවිතයේදී විශේෂයෙන්ම සමේ වර්ණයට වඩාත් ගැළපෙන ලස්සන පෙනුමක් ගෙන දෙන පවුඩර් එක තෝරාගැන්ම ඉතාම වැදගත්. පවුඩර් භාවියේදී බොහෝ දෙනෙක් කරනු ලබන්නේ පළමුවෙන් බේස් එක යොදා ඉන් අනතුරුව එනම්, ෆවුන්ඩේෂන් යෙදීමෙන් පසුව පවුඩර් බ්රෂ් එකක ආධාරයෙන් එය ගැල්වීමට උත්සාහ කිරීමයි. නමුත් වඩාත් සුදුසු දේනම් පවුඩර් පෆ් එකක ආධාරයෙන් තෝරාගත් පවුඩර් එක මුහුණමත තබා තද කරමින් ගැල්වීමයි. මෙහිදී මෘදු බවින් යුත් බ්රෂ් එකක් භාවිත කළ යුතුයි. පවුඩර් බ්රෂ් එක ආධාරයෙන් වැඩි පවුඩර් ප්රමාණය ඉවත් කරගැනීමෙන් ඉතාමත් මෘදු – ක්රමවත් නිමාවක් මතුවී ඇති ආකාරයක් දක්නට පුළුවන්.

පවුඩර් තෝරා ගැනීමේදී අප යොදාගන්නා ලද ෆවුන්ඩේෂන් වර්ණයට ළඟින්ම යන පවුඩර් එකක් තෝරා ගන්නට සැලකිලිමත්වීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ට ගැළපෙන වර්ණයන් වශයෙන් කැරමල් වර්ණය, ගෝල්ඩන්, ගෝල්ඩන් බේජ්, ලයිට් හනී, හනී සහ පැහැපත් බවින් වැඩි යුවතියන්ට නම් අයිවරි, ක්රීම්, ක්රීම් බේජ් වැනි වර්ණයක් වඩාත් සුදුසු බව සඳහන් කළ හැකියි. මෙහිදී මෙම වර්ණ තනි වශයෙන් හෝ වර්ණ කීපයක් භාවිත කර තනි වර්ණයක් ලෙස හෝ භාවිත කළ හැකියි

බ්ලෂ් ඔන්

මෙය ආලේප කළ යූතු වන්නේ දුඹූරු වර්ණය හෝ රෝස වර්ණයක්ය. මෙය ගැල්විය යූතු වන්නේ ත්රිකෝණාකාර ලෙසිනි. ඕනෑම මූහූණකට ගැලපෙයි.

මේක්අප්කර පිටතට යන යුවතියන්ට කාන්තාවන්ට මතුවන එක් ගැටලුවක් වන්නේ දහඩිය දැමීම නිසා මුහුණේ තෙල් සහිත ස්වභාවක් මතුවීමයි. මෙසේ වන්නේ ඇයි? බොහෝවිට අප වායුසමීකරණය කරඇති ස්ථානයක සිටිනවා නම් මෙම ගැටලුව මතුවන්නට ඉඩක් නෑ. එවන් තැනකදී අපගේ මේක්අප් එක වෙනස් නොවී වැඩි කාලවේලාවක් රඳා පවත්වා ගන්නට පුළුවන්. නමුත් ඔබ සිටින්නේ අධික රස්නය ඇති තැනක නම් අව්ව ඇති තැනක හෝ දැඩි විදුලි ආලෝකයක් පතිතවන තැනක නම් මේක්අප් එකෙහි තෙල් සහිත ස්වභාවක් මතුවෙන්නට පුළුවන්. ඒ වගේම ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් මේක්අප් එක මතුපිටින් තෙල් ස්වභාවක් මතුවන්නට පුළුවන්.

ඔබට මේ ගැටලුව තිබෙනවා නම් ඔබේ අත්බෑගයේ කම්ෆැක්ට් පවුඩර් හෝ ෆිනිෂිං පවුඩර් එකක් රැගෙන යන්නට සැලකිලිමත් වන්න. මෙම පවුඩර් එක ඔබේ සමේ පැහැයට ගැළපෙන එකක් විය යුතුයි. මෙහිදී පවුඩර් ෆෆ් එකක් ගෙන ඉන් මුහුණේ සම මතුපිට මඳ වශයෙන් පන්ච් කරන්න. එවිට මුහුණේ මතුවන තෙල් සහිත ස්වභාව මඟහරවා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
අනෙක් කරුණ නම් වඩාත් හොඳ ප්රමිතියක් ඇති මේක්අප්
නිෂ්පාදන භාවිත කිරීමයි. මෙහිදී ඔබගේ සමට ගැළපෙන නිෂ්පාදන තෝරාගැනීමෙන් කිසිදු ගැටලුවක් මතුවන්නේ නෑ.

අධික අව් රශ්මියට දැඩි විදුලි ආලෝකයට මේක්අප් එකෙහි තෙල් සහිත ස්වභාවයක් ඉස්මතුවීම සාමාන්ය තත්ත්වයක්. මෙහිදී එම තත්ත්වය මඟහරවා ගන්නට මේක්අප් එකකට කලින් ෆේෂල් එකක් හෝ ක්ලීන්අප් එකක්කර ගැන්මෙන් සම මේක්අප් එකට සුදුසු තත්ත්වයෙන් පවත්වා ගන්නටත් ගැටලුකාරි තත්ත්වයක් මඟහරවා ගන්නටත් ඔබට හැකියාව ලැබෙනවා.

 

ඔබේ අදහස මෙතන ලියන්න..